නාවික හමුදා මැරීන් බළකායේ දසවන බඳවා ගැනීමට ලාංඡන පැළඳවීම සිදු කෙරේ

​ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකායේ දසවන බඳවා ගැනීමේ පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් තිදෙනෙකු සහ නාවිකයින් තිස් තුන්දෙනෙකු සඳහා ලාංඡන පැළඳවීමේ උත්සවය ඊයේ (29) ත්‍රිකුණාමලය සාම්පුර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේදී පැවැත්විණි. නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විදුර ආයතනයේ ආඥාපති කපිතාන් රවිඳු හරිස්චන්ද්‍රගේ ආරාධනයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.​මාස අටක කාලයක් පුරා පැවති මෙම අති දුෂ්කර මැරීන් පුහුණු වැඩසටහන සඳහා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ නාවික පිරිසක් සාර්ථක ලෙස පාඨමාලාව අවසන් කර තිබේ. එහිදී දසවන බඳවා ගැනීමේ විශිෂ්ඨතම මැරීන් සාමාජිකයා, සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණුලාභියා සහ දක්ෂතම ඉලක්කකරු ලෙස ලුතිනන් (සැ) විපීඒ සසංක කුසලාන දිනාගත් අතර, දක්ෂතම ශාරීරික යෝග්‍යතාවය හිමිකර ගත්තා වූ ශාරීරික අභ්‍යාසක ඩබ්එම්ජීඩිපී බණ්ඩාර ද විශේෂ සම්මානවලින් පිදුම් ලැබීය.​උත්සව සභාව ඇමතූ රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා, පුහුණුවෙන් ලබාගත් පන්නරය ඔස්සේ මව්බිමේ ස්වෛරීභාවය මෙන්ම භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට දායක වන ලෙස විසිර ගිය නාවිකයින්ගෙන් ඉල්ී සිටියේය. එසේම, ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදාමින් නිරන්තර අවධානයෙන් යුතුව තම රාජකාරී ඉටු කරන ලෙසත්, පුද්ගලික හා වෘත්තීය දිවිය ධෛර්යයෙන් මෙහෙයවන ලෙසත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.​මෙම අවස්ථාව වර්ණවත් කරමින් මැරීන් බලකායේ සුවිශේෂී හැකියාවන් සහ දක්ෂතා ඇතුළත් ආකර්ෂණීය සංදර්ශනයක්ද ප්‍රදර්ශනය කෙරිණි. පුහුණු කටයුතු සාර්ථක කර ගැනීමට සහය වූ විදුර ආයතනයේ ආඥාපති ඇතුළු කාර්ය මණ්ඩලය වෙත ප්‍රණාමය පුද කළ ප්‍රධානියා, උත්සවය සඳහා සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නාවික, යුද, ගුවන් හා පොලිස් නිලධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන් ද විශේෂයෙන් ඇගයීමට ලක් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *