දේශපාලන බලය අනිසි ලෙස යොදාගනිමින් නැගෙනහිර පළාතේ ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් නතර කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙම ගැටලුව නිරාකරණය කරමින් නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කරගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ (DIG) සෘජු ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරන බවයි.මීට අමතරව, සමුද්‍ර ඛාදනය හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව ඇති නැගෙනහිර වෙරළ තීරය සුරැකීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. වෙරළ තීරය ආරක්ෂා කරගන්නා අතරතුර එම කලාපය තුළ සංචාරක කර්මාන්තය වඩාත් ක්‍රමවත් අයුරින් ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසු සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.වෙරළ ඛාදනය වැළැක්වීමේ පියවරක් ලෙස සාම්ප්‍රදායිකව ගල්වැටි දැමීම ප්‍රායෝගික නොවන බව පෙන්වා දුන් ඒ මහතා, ඔලුවිල් වරාය සහ ඒ ආශ්‍රිත ධීවර වරාය පිළිබඳව ද කරුණු විමසා සිටියේය. ඒ අනුව, පවතින සමස්ත තත්ත්වයට විද්‍යාත්මක මෙන්ම ස්ථීර විසඳුමක් ලබාදීම සඳහා කඩිනම් අධ්‍යයනයක් සිදුකර වාර්තා කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය.



























