ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලපද්මේන්ද්‍ර කුමාරපතිරණගේ සැකසහිත මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබේ. කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය බී.සී.එම්. රොද්‍රිගෝ මහතා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් අනාවරණය වී නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත සාම්පල යොමු කර ඇත.පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත 45 හැවිරිදි වියේ පසුවූ ඇය මියගොස් සිටියදී හමුවී තිබේ. පොලිස් පරීක්ෂණවලට අනුව, අගෝස්තු 30 වන දින බත්තරමුල්ලේදී ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගී වීමෙන් පසු, පසුගිය 31 වන දින අලුයම ඇය මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ නිදාගෙන ඇති අතර, පස්වරු 12:45 ට පමණ ඇයව ඇහැරවීමට උත්සාහ කිරීමේදී ප්‍රතිචාර නොදැක්වීම නිසා ‘1990 සුව සැරිය’ ගිලන්රථ සේවය මඟින් ඇය මියගොස් ඇති බව තහවුරු කර ඇත.මෙම සිදුවීම සම්බන්ධයෙන් මියගිය නිරූපණ ශිල්පිනියගේ මව මෙන්ම අදාළ ව්‍යාපාරිකයා ද පිළියන්දල පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර ඇති අතර, පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.


























