ප්‍රාථමික පාසල් පොදු ආකෘතියකට අනුව සංවර්ධනය කළ යුතු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි

ශිෂ්‍ය ආරක්ෂණය, සුබසාධනය සහ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය ඇතුළත් පොදු ආකෘතියක් මත රටේ ප්‍රාථමික පාසල් සංවර්ධනය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. සෑම දරුවකුටම සම අධ්‍යාපන ප්‍රවේශයක් තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි. ඊයේ (11) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇයගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.​මෙහිදී ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය මෙන්ම පන්ති කාමර උපකරණ, සිසුන් ආකර්ෂණය වන පරිදි පාසල් භූමිය සැලසුම් කිරීම සහ ක්‍රීඩා පිටි සැකසීම වැනි නිර්ණායක ඇතුළත් වාර්තාවක් ද ඉදිරිපත් කෙරුණි. ඉදිරියේදී මෙම නිර්ණායක තවදුරටත් වර්ධනය කර පොදු ආකෘතියක් ලෙස එළිදක්වන බව පැවසූ අගමැතිනිය, ඉදිරි වසර කිහිපය තුළ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ආදර්ශ පාසල් කිහිපයක් සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව ද සඳහන් කළාය.​2026 වසරේ අයවැය ප්‍රතිපාදන මඟින් පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බැවින්, එම ව්‍යාපෘති කඩිනමින් නිම කරන ලෙසට ද ඇය උපදෙස් දුන්නාය. මීට අමතරව, වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් නැංවීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වූ අතර, මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය මධුර සෙනෙවිරත්න, නලීන් හේවගේ සහ අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,185

Leave A Reply

Your email address will not be published. Required fields are marked *