දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව මුහුණ දෙන පානීය ජල හිඟයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා දැනට ක්‍රියාත්මක සියලුම ජලසම්පාදන ව්‍යාපෘති කඩිනම් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ. ඊයේ (08) පැවති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, විදේශ ණය සහ ආධාර ලැබෙන තෙක් ප්‍රමාද නොවී, හැකි සෑම අවස්ථාවකම දේශීය අරමුදල් උපයෝගී කරගනිමින් මෙම ව්‍යාපෘති නිම කළ යුතු බවයි. ජනතාවගේ මූලික අවශ්‍යතාවක් වන පානීය ජලය ලබාදීමේදී මූල්‍යමය බාධාවන් අවම කරගනිමින් උපරිම කාර්යක්ෂමතාවයකින් කටයුතු කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලැබිණි.මෙහිදී කොළඹ, ගම්පහ, යාපනය සහ අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පවතින ජල ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ අතර, කොළඹ ප්‍රදේශයේ ජල අවශ්‍යතාව සපුරාලීමට සහ ගංවතුර පාලනයට වැදගත් වන ‘වී ඔය’ ජලාශ ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කිරීමට තීරණය විය. මීට අමතරව, උතුරුමැද සහ වයඹ ඇළ ව්‍යාපෘතිවල ඉතිරි වැඩකටයුතු නියමිත කාලසීමාවන් තුළ අවසන් කිරීමටත්, ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කරන මුදල් ඵලදායී ලෙස එම වසර තුළදීම වැය කිරීමටත් නිලධාරීන්ට මඟපෙන්වීම් සිදුකරන ලදී.ව්‍යාපෘතිවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය රැකගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, වැඩ කටයුතු ප්‍රමාදයකින් තොරව නිම කිරීම සඳහා අවශ්‍ය වන්නේ නම් කොන්ත්‍රාත් පදනම මත අතිරේක නිලධාරීන් බඳවා ගැනීමට ද අනුමැතිය ලබා දුන්නේය. රජය විසින් වෙන් කරනු ලබන මහජන මුදල් නාස්ති නොවී, ජනතාවට සැබෑ ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම සංවර්ධන කටයුතු නියමිත කාලසටහනකට අනුව නිම කිරීම බලධාරීන්ගේ වගකීම බව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

























