පාසල් සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සකස් කළ නව සෞඛ්‍යාරක්ෂිත පාසල් ආපනශාලා මාර්ගෝපදේශ මාලාව අද (22) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට අදාළ අංශ ප්‍රධානීන් එක්වීමට නියමිත අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් මගින් මෙය රට පුරා පාසල්වල බලාත්මක කිරීමට පියවර ගෙන ඇත. විදුහල්පතිවරුන් සහ පාසල් බලධාරීන් වෙත මෙම නව නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලතල සහ උපදෙස් දැනටමත් ලබා දී තිබේ.මෙම නව මාර්ගෝපදේශ අනුව පාසල් ආපනශාලාවල අලෙවි කිරීමට තහනම් කර ඇති ප්‍රධාන ආහාර වර්ග පහක් හඳුනාගෙන ඇත. ඒ අනුව අහිතකර මේදය සහිත ආහාර, අධික ලුණු සහ කෘතීම රසකාරක අඩංගු ආහාර මෙන්ම සීනි බහුල සහ පෝෂණ ගුණයෙන් තොර කැලරි අධික ආහාර දරුවන්ට අලෙවි කිරීම සපුරා තහනම් වේ. ශිෂ්‍ය පරපුර අතර බහුලව දක්නට ලැබෙන ස්ථුලතා තත්ත්වය සහ සෞඛ්‍ය ගැටලු පාලනය කිරීම මින් අදහස් කෙරේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම වයස අවුරුදු 13ත් 17ත් අතර දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් (17.4%) කාබනීකෘත බීම වර්ග පරිභෝජනයට යොමුවීම ඔවුන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වී ඇති බවයි. මෙම නව ක්‍රියාමාර්ග ඔස්සේ පාසල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමට හුරු කිරීම සහ අනාගත නිරෝගී පරපුරක් බිහි කිරීම අපේක්ෂා කෙරේ.



























