දරුවන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ අරමුණින්, පාසල් ආපනශාලා තුළ අලෙවි කෙරෙන ආහාර සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සහ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ යහපත් පෝෂණ පුරුදු ඇති කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත. ඒ අනුව, සීනි, ලුණු සහ අහිතකර මේදය අධික ලෙස අඩංගු මෙන්ම අතිසැකසූ (Ultra-processed) ආහාර පාසල් භූමිය තුළ අලෙවි කිරීම තහනම් කර ඇත.නව රීතීන් යටතේ විශේෂයෙන්ම සොසේජස්, මීට් බෝල්ස්, බර්ගර්, පීසා සහ ගැඹුරු තෙලේ බදින ලද කෙටි ආහාර වැනි සැකසූ මස් හා මාළු ආශ්‍රිත නිෂ්පාදන තහනම් කර තිබේ. එසේම, කෘතිම රසකාරක සහ වර්ණකාරක යෙදූ ක්ෂණික නූඩ්ල්ස්, සුප් කැට සහ අතිසැකසූ සෝස් වර්ග ද මීට අයත් වේ. බේකරි නිෂ්පාදන අතුරින් ක්‍රීම් බනිස්, ජෑම් බනිස්, කේක් වර්ග සහ සියලුම බිස්කට් වර්ග පාසල් ආපනශාලාවල විකිණීමෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.පැණිරස සහ ලුණු අධික ආහාර සඳහා ද දැඩි සීමා පනවා තිබේ. ඒ අනුව චොක්ලට්, ටොෆි, දොදොල්, ජුජුබ්ස් සහ විවිධ අතුරුපස වර්ග මෙන්ම ලුණු අධික මුරුක්කු හා ක්ෂණික කෙටි ආහාර (Extruded snacks) අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එසේම, අයිස්ක්‍රීම්, ජෙලි සහ අධික ලෙස ශීත කළ අතුරුපස ද පාසල් දරුවන්ට සුදුසු නොවන ආහාර ගොනුවට ඇතුළත් කර ඇත.පාන වර්ග සම්බන්ධයෙන් ද මෙම නව චක්‍රලේඛය මගින් දැඩි නීති පනවා තිබේ. ඒ අනුව කාබනිකෘත බීම (Carbonated drinks), කෘතිම රසකාරක සහිත පැකට් බීම, රසකළ කිරි වර්ග, යෝගට් පානයන් සහ බලශක්ති පාන (Energy drinks) අලෙවි කිරීම තහනම් කර ඇත. මෙයට අමතරව කෝඩියල්, නෙක්ටර් සහ ක්ෂණික තේ හෝ කෝපි වර්ග ද පාසල් ආපනශාලා තුළ අලෙවි කිරීම නුසුදුසු බව නිර්දේශ කර තිබේ.



























