පාසල් සිසුන් අතර වෛරස් මෙනින්ජයිටිස් පැතිරීමේ අවදානමක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන “එන්ටරෝවෛරස මෙනින්ජයිටිස්” (මොළයේ පටල ප්‍රදාහය) රෝගයෙන් පාසල් සිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. දූෂිත ජලය, ආහාර, අපිරිසිදු දෑත් මෙන්ම ශ්වසන බිඳිති මඟින් බෝ වන මෙම වෛරස් රෝගය ළමුන් සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. ඉකුත් අප්‍රේල් මාසයේදී මාතර, දෙනියාය ප්‍රදේශයෙන් මුලින්ම වාර්තා වූ මෙම රෝගීන් මේ වන විට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් ද පොකුරු සහ තැනින් තැන වශයෙන් වාර්තා වෙමින් පවතී.​වසංගත රෝග විද්‍යාත්මක විමර්ශනවලට අනුව රෝගීන් අතර බහුතරයක් පාසල් සිසුන් වන බැවින්, වෛරසය පාලනය සඳහා වහාම ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. හදිසියේ හටගන්නා උණ සමඟ බෙල්ලේ තද බව, නොසන්සුන්කාරී බව, වලිප්පුව හෝ සිහි බුද්ධියේ වෙනස්වීම් වැනි මොළයේ පටල ආසාදන ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතී නම් එම සිසුන් වහාම වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ යුතුය. රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පන්ති කාමර තුළ ප්‍රමාණවත් වාතාශ්‍රයක් පවත්වා ගැනීම, අනවශ්‍ය තදබදය අවම කිරීම සහ රෝග ලක්ෂණ සහිත සිසුන් මුහුණු ආවරණ (masks) භාවිතයට යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ.​සිසුන්ගේ සනීපාරක්ෂාව සුරැකීම වෙනුවෙන් ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු සබන් යොදා දෑත් සේදීම අනිවාර්ය කළ යුතු අතර, පාසල් තුළ පිරිසිදු පානීය ජලය සහ විධිමත් සනීපාරක්ෂක පහසුකම් තහවුරු කළ යුතුය. දොර අගුලු සහ කරාම වැනි නිරන්තරයෙන් ස්පර්ශ වන පෘෂ්ඨ දිනකට 3-5 වතාවක් විෂබීජහරණය කිරීමට පියවර ගත යුතුය. එමෙන්ම කැස්ස හෝ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවකින් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කර ගැනීමටත්, භාවිත කළ ටිෂූ ආරක්ෂිතව පියන සහිත බඳුන්වලට බැහැර කිරීමටත් සිසුන් හුරු කළ යුතු බව එහි දැක්වේ.​විශේෂයෙන්ම පාසල් තුළ ක්‍රියාත්මක වන නිදහස් ආහාර වැඩසටහන්වලදී ආහාර සපයන්නන් දැඩි ලෙස සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු අතර, ඔවුන්ට රෝග ලක්ෂණ ඇත්නම් වහාම සේවයෙන් ඉවත් වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. ආහාර පිසින ස්ථාන හා උපකරණ නිරන්තරයෙන් පිරිසිදු කිරීම මෙන්ම පිසූ ආහාර සහ පානීය ජලය හොඳින් ආවරණය කළ භාජනවල ගබඩා කිරීම ද අනිවාර්ය වේ. මීට අමතරව, ඉදිරියේදී පාසල් මඟින් දන්සල් සංවිධානය කරන්නේ නම්, වසංගත රෝග ඒකකයේ “ආරක්ෂිත හා සනීපාරක්ෂක දන්සල්” මාර්ගෝපදේශ අනුගමනය කරමින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) සම්බන්ධ කරගෙන කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,164

Leave A Reply

Your email address will not be published. Required fields are marked *