පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 විගණකාධිපති වාර්තා මෙන්ම වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) රැස්විය. මෙහිදී විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා පරිපාලන කළමනාකරණය, ආයතනික පාලනය, ඩිජිටල් පද්ධති මෙන්ම විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගත් ආචාර්යවරුන්ගේ බැඳුම්කර ගිවිසුම් සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි.විශ්වවිද්‍යාලය දේශීය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටියද ලෝක ශ්‍රේණිගත කිරීම්වල යම් පසුබෑමක් පෙන්වන බව අනාවරණය වූ අතර, එය ගුණාත්මකභාවය අඩුවීමක් නොව ජාත්‍යන්තර තරඟකාරීත්වය වැඩි වීම නිසා සිදු වූවක් බව නිලධාරීහු පැහැදිලි කළහ. ඊට අමතරව, ERP පද්ධතියේ සේවාදායක ධාරිතාව ප්‍රමාණවත් නොවීම, තොරතුරු තාක්ෂණ අංශයේ මානව සම්පත් හිඟය සහ වැටුප් විෂමතා නිසා දක්ෂයින් රඳවා ගැනීමේ අපහසුව වැනි ඩිජිටල් කළමනාකරණ ගැටලු කෙරෙහිද කමිටුවේ විශේෂ අවධානය යොමු විය.විනය පරීක්ෂණ කඩිනමින් අවසන් නොවීම ආයතනයට අහිතකර ලෙස බලපා ඇති බව පෙන්වා දුන් කමිටුව, ඒවා කඩිනමින් නිම කරන ලෙස නිර්දේශ කළේය. තවද, බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන්ගෙන් මුදල් අය කරගැනීමේ ගැටලුව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) හරහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර, 2025 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 201ක් අය කර ගැනීමට විශ්වවිද්‍යාලය සමත්ව ඇති බවද මෙහිදී සඳහන් විය.ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව, ඔවුන් විදෙස්ගතව සිටියද අන්තර්ජාලය ඔස්සේ මෙරට සිසුන්ට ඉගැන්වීම් හා පර්යේෂණ සඳහා දායක කර ගැනීමේ විකල්ප ක්‍රමවේදයන් ගැනද සාකච්ඡා කෙරිණි. අවසාන වශයෙන්, ආයතනයේ විනිවිදභාවය සහ වගවීම තවදුරටත් තහවුරු කිරීම සඳහා විගණන නිර්දේශ සහ කමිටු උපදෙස් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට දැඩිව උපදෙස් ලබා දෙන ලදී.



























