පොසොන් උත්සවය හේතුවෙන් මාතර ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථවාහන සීමා කිරීම්

පොසොන් උත්සවය නිමිත්තෙන් මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන විශේෂ පෙරහැර මාලාවන් නිසා අද (29) සිට ජූලි මස 01 වැනිදා දක්වා කාලය තුළ ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානය සහ රත්මලේ ප්‍රදේශයේ පැවැත්වෙන පෙරහැර හේතුවෙන් එම මාර්ගවල රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින්, රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි.​අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිත කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා තැබේ. මෙය දික්වැල්ල සහ තංගල්ල දෙසට ගමන් ගන්නා රථවාහන සඳහා බලපෑමක් විය හැකි අතර, ජූලි මස 01 වැනිදා පෙරවරු 10.00 සිට පැවැත්වෙන වලස්ගල ශ්‍රී ජයවර්ධන මුචලින්දාරාම විහාරස්ථානයේ පෙරහැරත් සමඟ වලස්ගල, බෙලිඅත්ත සහ දික්වැල්ල අවට මාර්ගවල ගමනාගමන රටාවන් ද වෙනස් කෙරෙනු ඇත.​පෙරහැර ගමන් ගන්නා කාලසීමාවන් තුළ මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථවාහන පාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. එමනිසා මාර්ග තදබදය මඟහරවා ගනිමින් ආරක්ෂිතව ගමන් කිරීමට පොලිස් නිලධාරීන් ලබා දෙන උපදෙස් අකුරටම පිළිපදින ලෙස රියැදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,211

Leave A Reply

Your email address will not be published. Required fields are marked *