බම්බලපිටිය සහ දෙහිවල අතර වෙරළ තීරය ආශ්‍රිතව ව්‍යාජ ලේඛන භාවිත කරමින් ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි සියල්ල ඉවත් කර ගැනීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. දේශපාලන බලපෑම් සහ විවිධ නිලධාරීන්ගේ අනුග්‍රහය යටතේ කාලයක් තිස්සේ ඉදිවී ඇති මෙම නීතිවිරෝධී ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙලෙස දැඩි පියවර ගෙන තිබේ.මෙම මෙහෙයුමේ මුල් අදියර යටතේ බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේ පිහිටි හිමිකරුවන් 8 දෙනෙකුට අයත් නීතිවිරෝධී ඉදිකිරීම් 19ක් ඉවත් කරන ලෙස දන්වා නිල දැනුම්දීම් නිකුත් කර ඇත. අදාළ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාරගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනවලට අනුව, එළඹෙන සැප්තැම්බර් 10 වැනි දිනට පෙර එම ගොඩනැගිලි සහ එහි ඇති භාණ්ඩ සම්පූර්ණයෙන්ම ඉවත් කරගත යුතු වේ.නියමිත දිනට පෙර ඒවා ඉවත් කර ගැනීමට අසමත් වුවහොත් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ගොඩනැගිලි කඩා බිඳ දමන බවත්, සිදුවන හානි සඳහා රජය වගකියනු නොලබන බවත් බලධාරීන් අවධාරණය කර ඇත. 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනතේ බලතල ප්‍රකාරව, නිසි බලපත්‍රයකින් තොරව වෙරළ කලාපය තුළ සිදුකරන එවැනි ඉදිකිරීම් අධිකරණ නියෝගයකින් තොරව වුවද ඉවත් කර ගැනීමට දෙපාර්තමේන්තුවට නීතිමය අවස්ථාව හිමිව තිබේ.



























