සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් අරමුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.2014 වසරේදී සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා වෙන් කළ රුපියල් මිලියන 7.8ක මුදලක් යොදාගෙන ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් මුද්‍රණය කිරීම මගින් රජයට මූල්‍ය අලාභයක් සිදු කිරීම මෙම නඩුවේ ප්‍රධාන චෝදනාව වේ. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන් අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලෙස මීට පෙර අත්අඩංගුවට ගත් කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද නියෝග කළේය.එමෙන්ම හිටපු සභාපති භාෂ්වර ගුණවර්ධන මහතා ද මීට පෙර ඇප මත මුදා හැර ඇති අතර, ඇප මත මුදා හරින ලද සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තහනම් කිරීමට ද අධිකරණය පියවර ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර, නඩුව යළි කැඳවීම ඔක්තෝබර් 14 වන දිනට නියම කර තිබේ.



























