ව්‍යාජ ඉඩම් ඔප්පු, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සහ ව්‍යාජ රාජ්‍ය මුද්‍රා භාවිත කරමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බොරැල්ල, ඇන්.ඇම්. පෙරේරා මාවතේ පිහිටි නිවසක් වැටලීමේදී මෙම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මුලින්ම කොටු කරගැනීමට හැකිව තිබේ. පසුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත ජාවාරමට සම්බන්ධ තෙවැනි සැකකරු දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.මෙම වැටලීමේදී ව්‍යාජ ලේඛන සැකසීමට යොදාගත් අතිවිශාල භාණ්ඩ හා උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇත. ඒ අතර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට අයත් ඔප්පු පිටපත් සහිත මුල් ගොනු දෙකක්, ව්‍යාජ ඉඩම් ගනුදෙනු ලේඛන, ව්‍යාජ හැඳුනුම්පත් හතරක් සහ ව්‍යාජ රාජ්‍ය මුද්‍රා 600කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත. මීට අමතරව හොර ලේඛන සකස් කිරීමට යොදාගත් විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ, රුපියල් ලක්ෂ 15ක මුදලක් මෙන්ම මෙම ජාවාරම සඳහා භාවිත කළ මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිසිය විසින් රාජසන්තක කර තිබේ.අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 54, 55 සහ 59 යන වයස් කාණ්ඩවල පසුවන බොරැල්ල, දික්වැල්ල සහ හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෙම සංවිධානාත්මක වංචනික ජාලය හරහා තවදුරටත් සිදුකර ඇති මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් සහ මීට සම්බන්ධ සෙසු පාර්ශ්වයන් අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වන විට පුළුල් විමර්ශනයක් අරඹා ඇත.



























