මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ බිහිසුණු මාරක රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ. අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන කිහිපයක එකවර ගැටීමෙන් මෙම අනතුර හටගෙන ඇත. එහිදී අදාළ මෝටර් රථය ත්‍රීරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක ගැටී ඇති බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.අනතුරෙන් බරපතල තුවාල ලැබූ පිරිස වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ වත්තල ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු 64ක පුද්ගලයන් දෙදෙනෙකු සහ 44 හැවිරිදි අයෙකි. තවත් තුවාලකරුවන් අට දෙනෙකු මේ වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන සහ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අනතුර සිදු වන අවස්ථාවේදී අදාළ මෝටර් රථයේ රියදුරු ගංජා පානය කර මත් ස්වභාවයෙන් රිය පදවා ඇති බවයි. රිය අනතුරින් පසු සැකකාර රියදුරු වහාම පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය විසින් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.



























