මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කාදිනල් හිමි කියයි

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා සිටින කොළඹ අගරදගුරු පදවිය, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් එකඟ නොවන බව නිවේදනය කර තිබේ.​කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ, ප්‍රහාරයේ වින්දිතයන් සමඟ අගරදගුරු පදවිය සැමවිටම එකමුතුව සිටින අතර ප්‍රහාරයේ මහමොළකරුවන් සහ ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් හඳුනාගැනීම සඳහා දිගටම උත්සාහ කරන බවයි. එමෙන්ම, මෙවැනි අන්තවාදී ප්‍රහාර වැළැක්වීම සඳහා බලධාරීන් නිරන්තරයෙන් වගකීමෙන් කටයුතු කළ යුතු බවද එහි දැක්වේ.​කෙසේ වෙතත්, 2018 වර්ෂයේ සංශෝධිත කතෝලික සභාවේ කතිකාවතේ 2267 වන ඡේදයට අනුව මරණ දඬුවම යනු මිනිස් ගෞරවයට පටහැනි මෙන්ම පිළිගත නොහැකි දෙයක් වන බැවින්, කතෝලික සභාව මරණ දඬුවම පැනවීමට එකඟ නොවන බව අගරදගුරු පදවිය අවධාරණය කරයි.​එමෙන්ම, ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බවත්, එහි තීන්දු තීරණවලට කිසිදු ආකාරයකින් බලපෑම් කිරීමට අදහස් නොකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ. පළිගැනීමක් අපේක්ෂා නොකරන බව පෙන්වා දෙන සභාව, ශුද්ධෝත්තම දෙවන ජෝන් පෝල් පාප්තුමාගේ ඉගැන්වීම්වලට අනුව නීතියේ ආධිපත්‍යය සුරකිමින් සහ වගවීම තහවුරු කරමින් සමාව දීම සහ සාමය පවත්වා ගැනීම සිදු කළ යුතු බවද සිහිපත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,279

Leave A Reply

Your email address will not be published. Required fields are marked *