මාතර දිස්ත්‍රික් සමුපකාර ග්‍රාමීය බැංකු සංගමය ඇතුළු ආයතන කිහිපයක සභාපති ධුරය දරමින් රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට චෝදනා ලැබූ චමින්ද ප්‍රසංග ගුණසේකර නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරු අද (24) මාතර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඔහුව ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කෙරුණි. පොදු දේපළ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සිද්ධියට අදාළ නීතිමය පියවර ගෙන ඇත.මෙම මූල්‍ය වංචාවට පදනම් වී ඇත්තේ 2025 වසරේ මැයි මාසයේදී ලංකා බැංකුවේ මාතර ශාඛාවේ පවත්වාගෙන ගිය ග්‍රාමීය බැංකු සංගමයට අයත් ගිණුමකින් රුපියල් විසිහත්කෝටි පනස් ලක්ෂයක මුදලක් අනීතික ලෙස හුවමාරු කිරීමයි. අදාළ මුදල මාතර දිස්ත්‍රික් සමුපකාර රෝහල් සමිතියට අයත් ගිණුමකට බැර කර ඇති අතර, එම ගනුදෙනුව සිදුවන අවධියේදී සැකකරු එම රෝහල් සමිතියේද සභාපතිවරයා ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයකි.විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇති පරිදි, මෙලෙස හුවමාරු කළ රුපියල් කෝටි 27කට අධික මුදල මේ වන විට අස්ථානගත වී තිබේ. මහජනතාවගේ තැන්පත් මුදල් මෙලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ CID නිලධාරීන් විසින් තවදුරටත් පුළුල් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් පිළිබඳවද තොරතුරු රැස්කරමින් පවතී.

























