නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මත්පෙති ලක්ෂ දෙකකට අධික දැවැන්ත තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඊයේ (21) දින මාදම්පේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇත.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු ලොරි රථයක් භාවිත කරමින් මෙම මත්පෙති තොගය නොරොච්චෝල ප්‍රදේශයේ සිට කොළඹ බලා ප්‍රවාහනය කරමින් සිට ඇති බව වාර්තා වේ. එහි තිබී සොයාගත් මත්පෙති ප්‍රමාණය 216,000ක් වන අතර, සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ.අදාළ මත්පෙති තොගය සහ ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, මෙම ජාවාරම පිටුපස සිටින සෙසු පුද්ගලයින් අනාවරණය කර ගැනීම සඳහා මාදම්පේ පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

























