ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සිය සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දිවයිනෙන් පිටත්ව ගියේය. 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු මෙරට සිදුකළ ප්‍රථම නිල සංචාරය මෙය වීම විශේෂත්වයකි.මෙම සංචාරය තුළදී දෙරටේ රාජ්‍ය නායකයන් අතර ඉතා සුහද මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර, එහිදී කලාපීය සහයෝගීතාව සහ දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ වැදගත් අවබෝධතා ගිවිසුම් 07කට ද මෙහිදී අත්සන් තබනු ලැබීය.මාලදිවයින් ජනපතිවරයා ඇතුළු දූත පිරිස වෙනුවෙන් ඉහළ රාජ්‍ය ගෞරව සහිතව සමුදීම සිදුකළ අතර, මෙම සංචාරය හරහා දෙරටේ ආර්ථික හා සමාජයීය සබඳතා වඩාත් ස්ථාවර මාවතකට අවතීර්ණ වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි. දෙරටේ පොදු යහපත උදෙසා එක්ව කටයුතු කිරීමට මෙම සාකච්ඡා මඟින් ශක්තිමත් පදනමක් වැටී ඇති බව රජය අවධාරණය කරයි.

























