ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානතම ප්‍රකාශන ද්විත්වය වන “2025 වාර්ෂික ආර්ථික විවරණය” සහ “2025 මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම්” වාර්තා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත මෙම වාර්තා ඉදිරිපත් කළේ මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසිනි.2025 වසරේදී මෙරට ආර්ථිකය අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳව මෙම ආර්ථික විවරණය මඟින් පුළුල් විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත. ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල සහාය ඇතිව පෙර වසරවල ලැබූ ජයග්‍රහණ තවදුරටත් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව එහි පෙන්වා දී තිබේ. සාර්ව ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව පවත්වා ගැනීම මෙම වර්ධනයේ ප්‍රධාන පදනම ලෙස හඳුනාගෙන ඇත.භූ දේශපාලනික ගැටලු නිසා ඇති වූ ගෝලීය අවිනිශ්චිතතාවන් සහ 2025 අග භාගයේ බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වුවද, දේශීය ආර්ථිකය ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාවක් ප්‍රදර්ශනය කර ඇති බව මහ බැංකුව සඳහන් කරයි. ආයෝජක විශ්වාසය ඉහළ යාම සහ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය හේතුවෙන් ඇති වූ වාතාවරණය, විවිධ ආර්ථික කම්පනවලට මුහුණ දිය හැකි ශක්තිමත් පසුබිමක් (Buffers) නිර්මාණය කිරීමට මහෝපකාරී වී තිබේ.මෙම අවස්ථාවට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. තිරසාර ආර්ථික වර්ධනයකට මඟ පාදමින් රටේ මූල්‍ය පද්ධතියේ සහ සමස්ත ආර්ථිකයේ සෞඛ්‍ය සම්පන්නභාවය පවත්වාගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

























