නවවැනි මැලේසියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (MIFFest) සමාප්ත කරමින් පැවැත්වුණු ‘Malaysia Golden Global Awards’ (MGGA) සම්මාන උළෙලේදී ‘Riverstone’ චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. ජාත්‍යන්තර මට්ටමින් ඔහු රංගනය උදෙසා ඇගයීමට ලක්වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර ඔහු සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදීද හොඳම රංගනයට හිමි සම්මානය දිනා ගත්තේය. මෙහිදී ‘Riverstone’ චිත්‍රපටයේම රංගනයේ නිරත වූ ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවා ලෙස සම්මාන ලැබූ අතර, ‘Girl’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඕඩ්රි ලින් හොඳම සහාය නිළිය ලෙස තේරී පත් වූවාය.මීට අමතරව, චීන සටන්කාමී නළු වූ ජින් (Wu Jing) සහ දකුණු කොරියානු සිනමාකරු ලී චැං-ඩොං (Lee Chang-dong) හට විශේෂ සම්මාන පිරිනැමූ අතර, සිනමා උළෙලේ ඉහළම ගෞරවය වන හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිවූයේ ලොයිඩ් ලී චෝයිගේ ‘Lucky Lu’ චිත්‍රපටයටයි. අමෙරිකානු සහ කැලඩියානු හවුල් නිෂ්පාදනයක් වන මෙම සිනමාපටය, නිව්යෝර්ක් නුවර බෙදාහැරීමේ රථ රියදුරෙකු ලෙස සේවය කරමින් ආර්ථික අපහසුතා මැද සිය පවුල වෙනුවෙන් කැපවෙන පුද්ගලයෙකුගේ සංවේදී කතාවක් රැගෙන එයි. ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන ‘Sirât’ ප්‍රේක්ෂක පදක්කම දිනාගත් අතර, හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය ‘Aisha Can’t Fly Away’ චිත්‍රපටය වෙනුවෙන් ඊජිප්තු ජාතික මොරැඩ් මොස්තාෆා හිමිකර ගත්තේය. හොඳම නිළියට හිමි සම්මානය ලිලා ගුවෙනෝ (Lila Gueneau) සහ ඔං ක්සුආන් ජිං (Ong Xuan Jing) යන දෙදෙනා අතර බෙදී ගිය අතර, “Resonance” තේමාව යටතේ පැවැත්වුණු මෙම අභිමානවත් සම්මාන උළෙල 2027 වසරේදී සිය 10 වන අදියර සඳහා නැවත සංවිධානය වීමට නියමිතය.























