ශ්‍රී ලංකාව තුළ බහුලවම දැකිය හැකි සෞඛ්‍ය ගැටලුවක් වන වකුගඩු ආශ්‍රිත ගල් රෝගී තත්ත්වයන් (Kidney Stone Disease) සඳහා කඩිනම් ප්‍රතිකාර ලබාදීමේ අරමුණින් ඉදිකළ “මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” අද දින ජනතා අයිතියට පත් කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරයි. වසර විස්සක පමණ කාලයක් තිස්සේ ප්‍රසූත වෙමින් පැවති මෙම සංකල්පය, මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ යථාර්ථයක් බවට පත් කිරීමට වත්මන් රජයට හැකි වී තිබේ.දිවයින පුරා දැනට විශේෂඥ මූත්‍රා රෝග ඒකක 30 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුව ද, යටිතල පහසුකම්වල පවතින සීමිතභාවය සහ ශල්‍යාගාර හිඟකම හේතුවෙන් ප්‍රතිකාර සේවාවල දැඩි ප්‍රමාදයක් පැවතිණි. විශේෂයෙන්ම නවීන එන්ඩොයුරොලොජිකල් (Endourological) තාක්ෂණයට ඇති සීමිත ප්‍රවේශය හේතුවෙන් වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා රෝගීන් 5,000 කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල රැඳී සිටින බව ඇස්තමේන්තු කර ඇත. අලුතින් ස්ථාපිත කළ මෙම මධ්‍යගත සායනික ඒකකය හරහා එම දැඩි පොරොත්තු ලේඛන අවම කරමින් රෝගීන්ට කඩිනම් සහන සැලසීමට අවස්ථාව හිමිවේ.මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය ද නොඅඩුව ලැබී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග (NCD) කාර්ය සාධක බලකායේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (SLAUS) මෙහි තාක්ෂණික හා උපකරණ සැපයීමේ වගකීම භාරගෙන තිබේ. මීට අමතරව, මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා විසින් මධ්‍යස්ථානයට අවශ්‍ය නවීනතම වෛද්‍ය උපකරණ සහ තාක්ෂණික පහසුකම් රැසක් පරිත්‍යාග කරමින් සුවිශේෂී දායකත්වයක් සපයා ඇත.මෙම සමාරම්භක අවස්ථාව සඳහා දේශපාලන අධිකාරිය, සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රය සහ වෛද්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ සහ චමින්ද ලලිත් කුමාර යන මහත්වරුන් ද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් ද වූහ. ශ්‍රී ලංකා මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහතා ඇතුළු වෛද්‍ය සංගමයේ නියෝජිතයෝ ද මීට එක්ව සිටියහ.මීට අමතරව පළාත් සෞඛ්‍ය බලධාරීන්, ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන් සහ මීරිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය චමින්ද ප්‍රේමරත්න මහතා ඇතුළු එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම නව විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත වීමත් සමඟ, මීරිගම ප්‍රදේශයේ ජනතාවට පමණක් නොව සමස්ත ලාංකීය සෞඛ්‍ය පද්ධතියටම මින් ඉදිරියට විශාල සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.























