ශ්‍රී ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතිය පුරා විසඳීමට ඇති නඩු සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 11 සීමාව ඉක්මවා ගොස් ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ නවතම දත්ත වාර්තා සනාථ කරයි. දිවයින පුරා පිහිටි අධිකරණ 293 ක ගොඩගැසී ඇති මෙම මුළු නඩු සංඛ්‍යාව 1,134,474 ක් වන අතර, මෙයින් සිංහ පංගුවක්ම වාර්තා වන්නේ මහේස්ත්‍රාත් අධිකරණවලිනි. එහි පමණක් නඩු 818,869 ක් විභාග වෙමින් පවතින අතර, දිස්ත්‍රික් අධිකරණවල නඩු 260,007 ක් ද, මහාධිකරණ (අපරාධ) තුළ නඩු 27,376 ක් ද වශයෙන් පහළ අධිකරණ පද්ධතිය තුළ දැඩි ලේඛන තදබදයක් නිර්මාණය වී ඇත.මීට අමතරව උත්තරීතර අධිකරණ ව්‍යුහය දෙස බැලීමේදී, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5,396 ක් සහ අභියාචනාධිකරණයේ නඩු 5,216 ක් තවමත් විභාග වෙමින් පවතී. සිවිල් අභියාචනා මහාධිකරණය (6,591), වාණිජ මහාධිකරණය (6,330), කම්කරු විනිශ්චය සභා (3,131) සහ ළමා මහේස්ත්‍රාත් අධිකරණ (1,556) ඇතුළු අනෙකුත් සියලුම අංශවල පවතින මෙම මන්දගාමී ස්වභාවය හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය යළිත් මතු වී තිබේ.

























