යෝෂිත රාජපක්ෂගේ ප්‍රතිශෝධන පෙත්සම හෙට විභාගයට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව පවරා ඇති නඩුවේ ඇතුළත් “කුමන්ත්‍රණය කිරීම” යන චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම හෙට (16) විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වීමට නියමිතය.​මීට පෙර මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ නඩුවේ සිය සේවාදායකයා සමඟ විත්තිකාරියක ලෙස නම් කර සිටි ඩේසි ෆොරස්ට් නැමැති කාන්තාව පසුව නීතිපතිවරයා විසින් නිදහස් කර ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ සිය සේවාදායකයාට පමණක් තනිව “කුමන්ත්‍රණ චෝදනාව” පවත්වාගෙන යාම නීති විරෝධී බව නීතිඥවරයා මෙහිදී තර්ක කර තිබිණි.​කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ඊට විරෝධය පළ කරමින් අවධාරණය කළේ, අවශ්‍යතාවක් පවතී නම් එක් විත්තිකරුවෙකුට වුවද කුමන්ත්‍රණ චෝදනාව එල්ල කරමින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නීතිමය ප්‍රතිපාදන පවතින බවයි. දෙපාර්ශවය විසින් මතු කරන ලද මෙම නීතිමය කරුණු සම්බන්ධයෙන් හෙට දින පූර්ණ විභාගයක් පවත්වා තීරණයක් ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

What's your reaction?

Related Posts

1 of 1,190

Leave A Reply

Your email address will not be published. Required fields are marked *