ඩිජිටල් තාක්ෂණය සහ කාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය හරහා මෙරට රාජ්‍ය ආදායම 2026 වසරේ පළමු මාස හය තුළදී රුපියල් බිලියන 2954.2 දක්වා 27.2% කින් ඉහළ නංවා ගැනීමට රජයට හැකි වී තිබේ. 2025 වසරේ එම කාලය තුළ සමස්ත ආදායම දැක්වුණේ රුපියල් බිලියන 2321.7ක් ලෙසිනි. RAMIS පද්ධතිය සහ ඊ-ඉන්වොයිසි වැනි නවීන ක්‍රමවේද භාවිතයෙන් බදු අනුකූලතාව ඉහළ නැංවීම මෙන්ම, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම මගින් බදු පැහැර හැරීම් සාර්ථකව අවම කර ගැනීමට මේ හරහා අවස්ථාව උදා වී ඇත.මෙලෙස වර්ධනය වූ රාජ්‍ය ආදායම රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදාහැරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පෙන්වා දී තිබේ. ඒ අනුව, ස්වාභාවික ව්‍යසන සහ මැදපෙරදිග අර්බුද හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ඉන්ධන හා විදුලි සහනාධාර ලබාදීමට අමතරව, ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග, පාලම්, පාසල් සහ පානීය ජල යෝජනා ක්‍රම සංවර්ධනය සඳහා අයවැයෙන් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් ඇති කිරීම අරමුණු කරමින් 2025-2027 කාලය තුළ ග්‍රාමීය පාසල් යටිතල පහසුකම් නංවාලීමේ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වේ. ලබන වසරේ සිට 6 වසර සිසුන් සඳහා ඩිජිටල් පහසුකම් ලබාදීම මෙන්ම, මුළු අධ්‍යාපන පද්ධතියම ඩිජිටල්කරණය කිරීමේ පස් අවුරුදු සැලැස්මක්ද මේ වන විට සකස් කර ඇත. තවද, වෘත්තීය අධ්‍යාපන ලබන දරුවන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් නව පුහුණු මධ්‍යස්ථාන 50ක් ඉදිකිරීමටද රජය සැලසුම් කර තිබේ.



























