රජයේ ගුරුවරුන් අතර ඉහළ මානසික පීඩනයක් – රජරට විශ්වවිද්‍යාල සමීක්ෂණයකින් හෙළිවේ

රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන්ගෙන් 44%ක් දැඩි මානසික බිඳවැටීමකට ලක්ව ඇති බව රජරට විශ්වවිද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇත. රටේ පවතින ආර්ථික අර්බුදය ගුරුවරුන්ගේ මානසික සුවතාව කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කර ඇති බව මෙම සමීක්ෂණය මගින් පෙන්වා දෙයි. විශේෂයෙන්ම තම මූලික ජීවන වියදම් පියවා ගැනීමට නොහැකි වීම සහ මූල්‍ය ඉතිරියක් නොමැති වීම ගුරුවරුන් විශාල පිරිසකගේ මානසික සෞඛ්‍යය පිරිහීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව හඳුනාගෙන තිබේ.​සමීක්ෂණයට අනුව ගුරුවරුන්ගෙන් 81%කට වැඩි පිරිසක් තමන්ගේ වැටුප ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බව පවසා ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස 77%ක් දෙනා තම අත්‍යවශ්‍ය වියදම් පවා සීමා කිරීමට පියවර ගෙන ඇති අතර, 78%ක් පමණ පිරිසක් ආර්ථික අපහසුතා හමුවේ අතිරේක ආදායම් මාර්ග සොයමින් සිටිති. තවද, 30.4%ක් වැනි සැලකිය යුතු පිරිසක් කාංසාව සහ විශාදය වැනි තත්ත්වයන් නිසා සමාජීය වශයෙන් අක්‍රිය වීමේ අවදානමකට මුහුණ දී සිටින බව වාර්තා වේ.​ගුරුවරුන්ගේ මෙම මානසික තත්ත්වය සමාජයට එල්ල කළ හැකි බලපෑම පිළිබඳව මනෝ වෛද්‍ය විශේෂඥයින් සිය කනස්සල්ල පළ කරති. එම නිසා, ඔවුන්ගේ මූල්‍ය ගැටලු විසඳීම සඳහා නිසි ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සහ ගුරුවරුන් වෙත කඩිනම් මානසික සෞඛ්‍ය උපදේශන සේවා ලබාදීම වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණක් බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,208

Leave A Reply

Your email address will not be published. Required fields are marked *