රට මුහුණ දී ඇති ආර්ථික සහ සමාජීය අභියෝග පිළිබඳව ජනතාව නිවැරදි හා යථාර්ථවාදී අවබෝධයකින් කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රත්නපුර, වැලිගපොල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, කරුණු පිළිබඳ නිසි දැනුවත්භාවයක් නොමැති වීම ජනතාව නොමඟ යාමට හේතු වන බවත්, සිදුවන දේ ඇති සැටියෙන් වටහා ගැනීම දේශපාලනික රැවටීම්වලින් බේරීමට ඇති හොඳම මාර්ගය බවත්ය.උද්ධමනය, විදේශ සංචිත අඩුවීම සහ අත්‍යවශ්‍ය සේවා ගාස්තු ඉහළ යාම වැනි කරුණු හමුවේ, ජනතාව වඩාත් අවධානයෙන් සිටිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් විදේශ ප්‍රේෂණ ආදායමට බලපෑම් එල්ල විය හැකි බවත්, රටේ දරිද්‍රතා මට්ටම 30% – 40% දක්වා ඉහළ යාම නිසා නිෂ්පාදන ක්ෂේත්‍රය සහ ගොවිතැන වැනි අංශ දැඩි අර්බුදයක පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.මෙවැනි අසීරු කාලවකවානුවකදී දේශපාලන මතවාද පසෙක තබා, රටේ අනාගතය සහ දරුවන්ගේ සෞඛ්‍ය හා අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීම උදෙසා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු බවට ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය. රටේ බහුතර ජනතාව දුකට පත් කරන මෙම අර්බුද කළමනාකරණය කරගැනීමට සියලු දෙනාගේ සාමූහික වගකීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.



























