ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මඟින් රටේ යුක්තිය, සාමය සහ සංහිඳියාව වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරු මණ්ඩලයේ අත්සනින් යුතු මෙම නිවේදනය එළිදැක්වුණේ පසුගිය අගෝස්තු මස පැවති පූර්ණ සැසිවාරයේ සාකච්ඡා පදනම් කරගනිමිනි. එහිදී සමානාත්මතාවය වෙනුවෙන් රජය ගෙන ඇති ඇතැම් ධනාත්මක පියවර සමුළුවේ ඇගයීමට ලක්විය.මෙම නිවේදනය හරහා පරිසරය සහ කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් තීරණාත්මක කරුණු කිහිපයක් රජයේ අවධානයට ලක්කර ඇත. ඒ අනුව, මුතුරාජවෙල තෙත්බිම විනාශකාරී සංවර්ධන ව්‍යාපෘතිවලින් ආරක්ෂා කරගැනීමට වහා ක්‍රියාත්මක වන ලෙසත්, මන්නාරමේ සුළං විදුලි බලාගාර තවදුරටත් පුළුල් නොකිරීමට ගත් තීරණය පිළිබඳවත් එහි විශේෂ අවධානය යොමුකර තිබේ. එසේම, රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන තේ වතු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය ගත් පියවර රදගුරු සමුළුව සිය කෘතඥතාව පළ කරමින් අගය කර ඇත.තවද, යාපනයේ චෙම්මණි ඇතුළු සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසද සමුළුව දැඩිව ඉල්ა සිටී. දශක තුනකට ආසන්න යුධ සමයේ මෙන්ම ඊට පෙර සිදුවූ ත්‍රස්තවාදී හා සමූහ මිනිස් ඝාතන පිළිබඳ සත්‍යය හෙළිදරව් කර වගවීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබේ. මීට අමතරව, එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදු වූ පාරිසරික හානිය වෙනුවෙන් නියමිත වන්දි මුදල අධිකරණ තීන්දුවලට අනුව නිසි ලෙස ලබාගැනීමේ වැදගත්කමද මෙහිදී යළි අවධාරණය කර ඇත.


























