ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වන රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස අද (04) කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය. ඊයේ දිවයිනට පැමිණි හත් දෙනෙකුගෙන් යුත් මෙම දූත පිරිස සිය සංචාරය අතරතුර කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත ද පැමිණීමට සැලසුම් කර ඇත. දෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් අතර සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ මූලික අරමුණ වී තිබේ.මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වැදගත් අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට නියමිතව ඇත. විශේෂයෙන්ම ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයීම, මෙරට වෛද්‍ය විශේෂඥයින් සඳහා උසස් පුහුණු අවස්ථා ලබාදීම සහ අධ්‍යයන සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් වන ඩිජිටල්කරණය සහ සංචාරක සෞඛ්‍ය සේවාව පිළිබඳව ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වීමට නියමිතය.මීට අමතරව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කරගැනීම කෙරෙහි ද රුසියානු දූත පිරිසේ අවධානය යොමුව තිබේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස සිය නිල සංචාරය නිමා කරමින් හෙට (05) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, මෙම සංචාරය මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මක දියුණුවට සුවිශේෂී පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

























