පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම සහ ඊට අදාළ පසු ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් මෙරට ප්‍රධාන රෝහල් පහක් සඳහා අතිනවීන මැමෝග්‍රැෆි (Mammography) යන්ත්‍ර 5ක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය අනුග්‍රහය සහ සෞඛ්‍ය පද්ධති වර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ (HSEP) දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා වැය කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 765කි. ඒ අනුව රුපියල් මිලියන 153ක් වටිනා මෙම නවීන යන්ත්‍ර කොළඹ, කරාපිටිය සහ නුවර යන ජාතික රෝහල්වලටත්, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල වෙතත් ලබා දීමට නියමිතය.මීට අමතරව පවතින හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික් මහ රෝහල් සඳහා ද තවත් මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් වෙන් කර ඇත. දැනට දිවයින පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක වන මෙවැනි යන්ත්‍ර සංඛ්‍යාව 16ක් වන අතර, මෙම නව එකතු කිරීම් සමඟ එම ප්‍රමාණය 23 දක්වා ඉහළ යනු ඇත. මෙමගින් පරීක්ෂණ සඳහා රෝගීන්ට දිගුකාලීනව පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවන කාලය අවම කර, වඩාත් වේගවත් හා ගුණාත්මක සේවාවක් මහජනතාව වෙත සමීප කිරීමට රජය අපේක්ෂා කරයි.



























