ලොව පුරා බිලියන 1.2 ක ජනතාවක් මානසික ආබාධවලින් පෙළෙන බව හෙළි වෙයි

සුප්‍රකට ‘ලැන්සෙට්’ (The Lancet) වෛද්‍ය සඟරාවේ පළ වූ නවතම ගෝලීය අධ්‍යයනයකට අනුව, ලෝක ජනගහනයෙන් බිලියන 1.2 කට ආසන්න පිරිසක් විවිධ මානසික ආබාධවලින් පෙළෙමින් සිටිති. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය දර්ශක සහ ඇගයීම් ආයතනය (IHME) විසින් රටවල් සහ ප්‍රදේශ 204 ක් ආවරණය වන පරිදි සිදු කළ ‘ගෝලීය රෝග බර පිළිබඳ අධ්‍යයනය’ (GBD) ඇසුරින් මෙම තොරතුරු අනාවරණය කර ඇත. මෙය 1990 වසරට සාපේක්ෂව බරපතළ වර්ධනයක් වන අතර, වඩාත්ම ඉහළම වර්ධනයක් පෙන්වා ඇත්තේ කාංසාව (Anxiety) සහ විශාදය (Depression) වැනි තත්ත්වයන්ය.​මෙම ගෝලීය වර්ධනය සඳහා කොවිඩ්-19 වසංගත තත්ත්වය සෘජුවම බලපා ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. වසංගත අර්බුදයත් සමඟ දැඩි ලෙස ඉහළ ගිය විශාද තත්ත්වයන්, වසංගතයෙන් පසුව ද පෙර පැවති මට්ටමට වඩා අඩු වී නොමැති අතර කාංසාව ද උපරිම මට්ටමක පවතී. මීට අමතරව ද්වීධ්‍රවීය ආබාධය (Bipolar Disorder), භින්නෝන්මාදය (Schizophrenia), ඕටිසම් (Autism) මෙන්ම ආහාර රුචිය ආශ්‍රිත ආබාධ ද ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසකට බලපා ඇති බව මෙමඟින් පෙන්වා දී ඇත.​මෙම වාර්තාවේ අන්තර්ගත වඩාත්ම කනස්සල්ලට පත්විය හැකි කරුණ වන්නේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම මානසික ආබාධවල වැඩිම ගොදුර බවට පත්ව ඇත්තේ වයස අවුරුදු 15 ත් 19 ත් අතර පසුවන නව යොවුන් වියේ පසුවන්නන් වීමයි. මීට පෙර දශකයන්හිදී මැදි වයසේ පසුවන්නන් අතර බහුලව දක්නට ලැබුණු මෙම තත්ත්වය, මේ වන විට වයස අවුරුදු 15 ත් 39 ත් අතර තරුණ ප්‍රජාව සහ කාන්තාවන් අතර බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.​වර්තමානය වන විට මානසික ආබාධ ලොව පුරා ආබාධිත තත්ත්වයන් ඇති වීමට බලපාන ප්‍රධානතම සාධකයක් බවට පත්ව තිබේ. ලෝකය මානසික සෞඛ්‍ය බිඳවැටීමේ වඩාත් අවදානම් සහගත අදියරකට ගමන් කරමින් සිටින බව පවසන පර්යේෂකයෝ, මේ පිළිබඳව ගෝලීය වශයෙන් දැඩි අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කරති.

What's your reaction?

Related Posts

1 of 774

Leave A Reply

Your email address will not be published. Required fields are marked *