අද (අප්‍රේල් 24) සිට 30 වනදා දක්වා ලෝක ප්‍රතිශක්තීකරණ සතිය ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ පිළිබඳව අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ පාලිත කරුනාපේම මහතා සඳහන් කළේ, ගෝලීය මට්ටමින් 2012 වසරේ සිට මෙම සතිය සැමරුවද, ශ්‍රී ලංකාව ප්‍රතිශක්තීකරණ ක්ෂේත්‍රය තුළ දැනටමත් ජාත්‍යන්තර වශයෙන් ඉතා ඉහළ මට්ටමක පසුවන බවයි.මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහන 1978 වසරේ සිට ඉතා විධිමත්ව ක්‍රියාත්මක වීම හේතුවෙන් දරු පරපුර බෝවන රෝග රැසකින් ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබේ. එන්නත්කරණයේ සාර්ථකත්වය මත පෝලියෝ වැනි දරුණු රෝග මෙරටින් සහමුලින්ම තුරන් කිරීමට හැකි වූ බව පෙන්වා දෙන සෞඛ්‍ය බලධාරීන්, එමඟින් ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු වී ඇති බවද පවසයි.පසුගිය දශක පහක කාලය තුළ මෙරට වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළ යාමටත්, ළමා මරණ අනුපාතිකය කැපී පෙනෙන ලෙස පහත වැටීමටත් මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ සෘජුවම දායක වී ඇත. රෝග වළක්වා ගැනීම සඳහා එන්නත් සතු ප්‍රබල හැකියාව මෙම ජයග්‍රහණ හරහා මනාව තහවුරු වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

























