මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව සහ භූ-දේශපාලනික බලපෑම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.44 කින් (1.32% කින්) ඉහළ ගොස් ඩොලර් 110.70 ක් ලෙස සටහන් විය. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි (WTI) බොරතෙල් මිල ද ඩොලර් 1.84 කින් (1.75% කින්) ඉහළ යමින් බැරලයක් ඩොලර් 107.26 ක් දක්වා වර්ධනය වී ඇති අතර, මෙය මැයි මස මුල් සතියෙන් පසුව වාර්තා වූ ඉහළම අගයන් වේ.විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරානය, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අතර පවතින ගැටුම්කාරී තත්ත්වයන් සමනය කරගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වීමයි. මෙයට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයකට එල්ල වූ ප්‍රහාරය ද ගෝලීය ඉන්ධන සැපයුම කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කර තිබේ.විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදුවන නාවික ප්‍රහාර සහ නැව් රඳවා ගැනීමේ සිදුවීම් වැළැක්වීම සඳහා වූ සාම ගිවිසුම් බිඳ වැටීම වෙළෙඳපොළ දැඩි කැළඹීමකට ලක් කළේය. මෙම අවිනිශ්චිත දේශපාලන වාතාවරණය හේතුවෙන් පසුගිය සතිය තුළ පමණක් ගෝලීය තෙල් මිල දර්ශක ද්විත්වයම 7% කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

























