දේශගුණික විපර්යාස, සැපයුම් දාම බිඳවැටීම් සහ නව බදු ප්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ කෝපි මිල ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ලන්ඩන් සහ ඇමෙරිකාව වැනි රටවල කෝපි කෝප්පයක මිල පිළිවෙළින් පවුම් 5ක් සහ ඩොලර් 9ක් තරම් ඉහළ මට්ටමකට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මිල මෙලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයන් වන වියට්නාමයට බලපෑ නියඟය හා ටයිෆූන් චණ්ඩ මාරුතය නිසා ‘රොබස්ටා’ අස්වැන්නත්, බ්‍රසීලයේ දැඩි හිම පතනය හේතුවෙන් ‘ඇරබිකා’ අස්වැන්නත් විශාල ලෙස පහත වැටීමයි. මීට අමතරව, වනාන්තර විනාශ කරමින් සිදුකරන වගාවන් තහනම් කිරීමට යුරෝපා සංගමය ගත් තීරණය සහ ඇමෙරිකාවේ පැනවුණු ආනයනික බදු සංශෝධන ද මේ සඳහා තදින්ම බලපා ඇත.කෙසේ වෙතත්, මිල ගණන් මෙලෙස අධික ලෙස ඉහළ ගියද ලෝක ව්‍යාප්ත කෝපි ඉල්ලුමේ අඩුවක් සිදුව නොමැති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම වර්තමාන තරුණ පරපුර ‘Cold Brews’ සහ ‘Matcha’ වැනි නවීන පාන වර්ගවලට වැඩි රුචිකත්වයක් දැක්වීමත්, චීනයේ ‘Luckin Coffee’ වැනි සමාගම් තාක්ෂණික යෙදුම් (Apps) භාවිත කරමින් සිය වෙළෙඳපොළ පුළුල් කිරීමත් මීට හේතු වී තිබේ. පවතින අහිතකර තත්ත්වයන් හමුවේ ඉදිරි කාලයේදීත් කෝපි මිල මෙලෙසම ඉහළ මට්ටමක පවතිනු ඇති බව විද්වතුන්ගේ මතයයි.



























