වාහන මිල ලක්ෂ 15කින් ඉහළ යන ලකුණු

රජය විසින් අලුතින් පැනවූ 50%ක රේගු බදු අතිරේක ගාස්තුව (Surcharge) හේතුවෙන් මෙරට වාහන මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ 15කින් පමණ ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) අනතුරු අඟවයි. වාහනයේ මාදිලිය සහ වර්ගය අනුව මෙම මිල වැඩිවීම රුපියල් ලක්ෂ 15 සිට 25 දක්වා ඉහළ පරාසයකට යා හැකි බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොඩ්‍රිගෝ මහතා ප්‍රකාශ කළේ. පවතින ආර්ථික වටපිටාවත් සමඟ සාමාන්‍ය පාරිභෝගිකයෙකුට වාහනයක් මිලදී ගැනීම ඉදිරියේදී තවදුරටත් සිහිනයක් වනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.​මෙම නව බදු පැනවීමට අමතරව, ඇමරිකානු ඩොලරය සහ ජපන් යෙන් අගය ඉහළ යාම හේතුවෙන් වාහන ආනයන ක්ෂේත්‍රය මේ වන විටත් දැඩි අර්බුදයකට ලක්ව ඇත. මැයි 15 වනදාට පෙර ණයවර ලිපි (LC) විවෘත කළ පිරිස් වෙත මෙම නව අතිරේක බද්ද බලනොපෑවත්, වෙළඳපොළේ පොදු මිල ගණන් ඉහළ යාම වැළැක්විය නොහැකි බව ආනයනකරුවන් පවසයි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විදේශ විනිමය අනුපාත වෙනස්වීම් සහ 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) ඉහළ දැමීමයි.​බලධාරීන් විසින් ගන්නා ලද මෙම තීරණ දරාගත නොහැකි මට්ටමක පවතින බව පවසන ආනයනකරුවන්, සමස්ත වාහන වෙළඳපොළේ මිල ගණන් සීඝ්‍රයෙන් වෙනස් වීමට මෙම කරුණු සෘජුවම බලපාන බව අවධාරණය කරයි. ඒ අනුව ඉදිරි කාලසීමාවේදී මෙරට වාහන වෙළඳපොළ තුළ දැඩි මිල විචලනයක් මෙන්ම පාරිභෝගික ඉල්ලුමේ විශාල පසුබෑමක් අපේක්ෂා කළ හැක.

What's your reaction?

Related Posts

1 of 1,144

Leave A Reply

Your email address will not be published. Required fields are marked *