ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සර උත්සවය පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ පළමු වතාවට, දැනට සක්‍රීය සේවයේ නියුතු වැඩිම හමුදා සාමාජිකයන් සංඛ්‍යාවක් දායාද කළ පාසල් ඇගයීමට ලක්කිරීම මෙවර සංවත්සරයේ විශේෂ අංගයක් විය.ඒ අනුව, පිරිමි නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් බිහිකළ පාසල ලෙස කොළඹ ආනන්ද විද්‍යාලය ද, කාන්තා නිලධාරිනියන් අංශයෙන් කොළඹ දේවි බාලිකා විද්‍යාලය ද ප්‍රථම ස්ථාන දිනාගන්නා ලදී. සෙබළ කාණ්ඩය යටතේ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය (පිරිමි) සහ කෑගලු බාලිකා විද්‍යාලය (කාන්තා) පළමු ස්ථාන හිමිකර ගැනීමට සමත් විය.හමුදා ආචාර මුර, ධජය එසවීම සහ මියගිය රණවිරුවන් සිහිපත් කිරීම ඇතුළු සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත වූ මෙම උත්සවයේදී, විශිෂ්ට සේවයක් ඉටුකළ සාමාජිකයන් හත්දෙනෙකුට ඇගයුම් ලාංඡන ද පිරිනමන ලදී. අනාගත අභියෝගවලට මුහුණදිය හැකි වෘත්තීයමය හමුදාවක් ගොඩනැගීමට කැපවන ලෙස යුද හමුදාධිපතිවරයා මෙහිදී සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


























