යාපනය පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරාදැමීමේ සිද්ධියට වරදකරුවන් වූ ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට පනවා තිබූ මරණීය දණ්ඩනය ස්ථිර කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීරණය කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ, දඬුවමට එරෙහිව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමිනි.මෙම අභියාචනා විභාගයේදී විත්තිකරුවන් සිව්දෙනෙකුගේ මරණ දඬුවම තහවුරු වූ අතර, තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට පනවා තිබූ දඬුවම්වලින් ඔවුන් නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. නඩු විභාගය අතරතුර එක් විත්තිකරුවෙකු මියගොස් ඇති බවත්, මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරයේ සිට අධිකරණය හමුවේ පෙනී සිටි බවත් වාර්තා වේ.2015 වසරේ මැයි මස සිදුවූ මෙම අතිශය අමානුෂික ඝාතනයට අදාළව 2017 වසරේදී යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබුණි. මුළු රටම කම්පා කළ මෙම සිද්ධියට අදාළ නීතිමය ක්‍රියාවලිය වසර 11කට පසු මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුවත් සමඟ නිමාවට පත්ව ඇත.

























