වෛරය පසෙකලා මෛත්‍රිය සහ අසාධාරණය වෙනුවට යුක්තිය සැමගේ හදවත් තුළ ජනිත වේවායි ප්‍රාර්ථනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පොසොන් දින සුබ පැතුම් පණිවිඩය නිකුත් කර තිබේ. ශ්‍රී ලාංකීය ආධ්‍යාත්මික ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන පොසොන් පොහොය, මිනිසාගේ සිත සහ සමාජය යහපත් මඟකට යොමු කළ ආධ්‍යාත්මික විප්ලවයක සංකේතයක් බව ඔහු පෙන්වා දෙයි.මිහිඳු මහ රහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා අතර සිදු වූ ඓතිහාසික සංවාදය තුළින් පෙන්නුම් කරන්නේ, සැබෑ දියුණුව රඳා පවතින්නේ බලය හෝ ධනය මත නොව ප්‍රඥාව, සාකච්ඡාව සහ අවබෝධය මත බවයි. අභියෝග රැසකට මුහුණ දී සිටින වත්මන් මොහොතේ බෙදී වෙන්වීම නොව එකමුතුකම, වෛරය නොව මෛත්‍රිය, සහ අසාධාරණය වෙනුවට යුක්තිය රටට අත්‍යවශ්‍ය සාධක බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.බුදු දහමේ හරය වන කරුණාව, සමානාත්මතාව සහ සත්‍යගරුකභාවය ජාතික ගමන් මඟේ පදනම කර ගැනීමට මෙම පුණ්‍ය දිනයේ අධිෂ්ඨාන කර ගැනීම වැදගත් වේ. විවිධ ආගමික සහ සංස්කෘතික පසුබිම්වලින් යුතු ජනතාවක් ලෙස අන්‍යෝන්‍ය ගෞරවය සහ මානුෂීයත්වය මත පදනම් වූ සාධාරණ රටක් ගොඩනැඟීම සැමගේ වගකීම බව පවසන සජිත් ප්‍රේමදාස මහතා, සැමට යහපත් පොසොන් පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරයි.



























