ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා එළඹෙන මැයි 07 වනදා දිවයිනට පැමිණීමට නියමිතය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර ඇති පරිදි, මෙම ඉහළ පෙළේ රාජ්‍ය සංචාරයේ විශේෂම සිදුවීම වන්නේ මැයි 08 වනදා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබීමයි. විදේශීය රාජ්‍ය නායකයෙකු මෙලෙස පාර්ලිමේන්තුව ඇමතීම දෙරට අතර පවතින අන්‍යෝන්‍ය ගරුත්වය සහ සමීපභාවය මැනවින් පිළිඹිබු කරන්නකි.මෙම සංචාරය හරහා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් නව මාවතකට යොමු වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. ආසියානු කලාපයේ වේගයෙන් දියුණු වන ආර්ථිකයක් හිමි වියට්නාමය සමඟ වෙළඳ සහ තාක්ෂණික සහයෝගීතාව පුළුල් කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණකි. ජනාධිපති ටෝ ලාම් මහතාගේ මෙම පැමිණීම, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස විදේශ ප්‍රතිපත්ති විචාරකයෝ පෙන්වා දෙති.

























