ශ්‍රී ලංකාව තුළ මේ වන විට තැලසීමියා රෝගීන් 2,500ක් පමණ හඳුනාගෙන ඇති අතර, වාර්ෂිකව තවත් දරුවන් 45ත් 60ත් අතර සංඛ්‍යාවක් “මහා තැලසීමියා” (Thalassemia Major) රෝගී තත්ත්වය සමඟ උපදින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පෙන්වා දෙන්නේ ඉදිරි වසර 10 තුළ මෙම උපත් සංඛ්‍යාව 100 දක්වා ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බැවින්, රෝගය තුරන් කිරීම සඳහා “තැලසීමියා වාහකයන්” දෙදෙනෙකු අතර සිදුවන විවාහයන් අවම කිරීම අත්‍යවශ්‍ය බවයි.මෙම රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා දැනට කුරුණෑගල, අනුරාධපුර, රාගම සහ මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක 6ක විශේෂ පාසල් දරුවන් වර්ගීකරණ (Screening) වැඩසටහන් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. එහිදී වාහකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයන් වෙත විශේෂ කාඩ්පතක් ද නිකුත් කෙරේ. සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මහජනතාව සතු වගකීම සහ දැනුවත්භාවය මේ මොහොතේ ඉතා වැදගත් වන බවයි.රජයේ රෝහල් මඟින් සිදුකරනු ලබන සාමාන්‍ය Full Blood Count (FBC) පරීක්ෂණයක් මඟින් පවා මේ පිළිබඳ සැකසහිත තත්ත්වයන් නොමිලේ හඳුනාගත හැකිය. එබැවින් සාම්ප්‍රදායික පොරොන්දම් ගැලපීමට ප්‍රථම, විවාහ අපේක්ෂිත සියලුම තරුණ තරුණියන් අනිවාර්යයෙන්ම තැලසීමියා පරීක්ෂණයකට භාජනය විය යුතු බව සෞඛ්‍ය උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන් වේ.

























