ශ්‍රී ලංකාවේ පළමු වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය කොළඹ වරායෙන් දිවයිනට

ගෘහස්ථ හා ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා අඛණ්ඩ සහ ස්ථාවර විදුලි සැපයුමක් තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාවට නැංවෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) පසුගියදා කොළඹ වරාය හරහා මෙරටට රැගෙන එනු ලැබීය. ජාතික විදුලිබල පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් රජය විසින් පසුගිය 2025 වසරේදී මෙගාවොට් 160-640 ක ධාරිතාවයකින් යුත් බැටරි ගබඩා ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර මට්ටමින් ටෙන්ඩර් කැඳවා තිබුණි. එහිදී දිවයින පුරා පිහිටි විදුලි සම්ප්‍රේෂණ උපපොළ 16ක් කේන්ද්‍ර කරගනිමින්, සුදුසුකම් ලැබූ ආයතන 4ක් වෙත මෙම ව්‍යාපෘති පවරා දීමට පියවර ගැනුණි.​ඒ අනුව, ලොව ප්‍රමුඛ පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන WKV Hydro Group හි අනුබද්ධිත ‘Galilee Bess’ ආයතනය විසින් ගාල්ල සහ මාතර උපපොළ කේන්ද්‍ර කරගනිමින් මෙම පද්ධති ස්ථාපිත කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. චීනයේ සුප්‍රසිද්ධ Sungrow Power සමාගමේ තාක්ෂණික දායකත්වය මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින National System Operator Ltd (NSO) ආයතනය පූර්ණ සහයෝගය ලබා දෙයි. සැලසුම් කර ඇති පරිදි එළඹෙන ජූලි මාසයේදී ගාල්ල උපපොළෙහි ද, අගෝස්තු මාසයේදී මාතර උපපොළෙහි ද සවි කිරීම් නිමවා මේවා ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය.​මෙම නව පද්ධති ද්විත්වය මඟින් දහවල් කාලයේදී උත්පාදනය වන මෙගාවොට් 80ක විදුලි ධාරිතාවක් ගබඩා කර තබාගෙන, රාත්‍රී කාලයේ පවතින උපරිම විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා නැවත මුදා හැරීමට කටයුතු කරනු ඇත. වත්මන් ඉන්ධන මිල දර්ශකයන්ට අනුව ඩීසල් බලාගාර මඟින් විදුලිය නිපදවීමට යන අධික පිරිවැය සමඟ සසඳන විට, මෙම බැටරි පද්ධති ක්‍රියාත්මක වීම හරහා මෙරටට මාසිකව රුපියල් මිලියන 200ක පමණ අතිවිශාල මූල්‍ය ඉතිරියක් අත්කර ගැනීමට හැකියාව ලැබීම විශේෂත්වයකි.​දේශගුණික විපර්යාස සහ පොසිල ඉන්ධන මිලෙහි පවතින අස්ථාවරත්වය හේතුවෙන් වත්මන් විදුලි උත්පාදන ක්‍රියාවලිය යම් පීඩනයකට ලක්ව ඇති පසුබිමක, මෙම ව්‍යාපෘතිය මඟින් වඩාත් විශ්වාසදායක සහ පරිසර හිතකාමී විසඳුමක් සපයයි. කාබන් විමෝචනය සහ වායු දූෂණය අවම කරන මෙම හරිත තාක්ෂණය, පාරිභෝගිකයන් වෙත සාධාරණ හා ස්ථාවර මිලකට අඛණ්ඩව විදුලිය සැපයීමට මහෝපකාරී වේ.​වර්තමානයේ එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල් මෙම BESS තාක්ෂණය බහුලව භාවිත කරන අතර, චීනය ද සිය ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරත්වය උදෙසා මෙවැනි බැටරි ගබඩා පද්ධති මඟින් විශාල දායකත්වයක් ලබා ගනී. ඒ අනුව, ශ්‍රී ලංකාව ද අනාගතයේදී තිරසාර, ස්ථාවර සහ නවීන බලශක්ති ප්‍රභවයන් කරා යන ගමනේදී මෙම තාක්ෂණය ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාලීන අවශ්‍යතාවකි.

What's your reaction?

Related Posts

1 of 1,165

Leave A Reply

Your email address will not be published. Required fields are marked *