ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, 2026 වසරේ පළමු මාස හය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබුණු සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.60ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 23.2ක සැලකිය යුතු වර්ධනයකි. කෙසේ වෙතත්, ජූනි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 695ක ප්‍රේෂණ ප්‍රමාණය, පසුගිය මැයි මාසයේ ලැබුණු ඩොලර් මිලියන 847ක අගයට වඩා යම් පසුබෑමක් පෙන්නුම් කළ ද, එය 2025 වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 9.3ක වර්ධනයක් බව දත්ත මඟින් පෙන්වා දෙයි.විදේශ ප්‍රේෂණ ඉහළ ගියද, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් සහ සංචාරක පැමිණීම්වල යම් පහත වැටීමක් නිරීක්ෂණය වේ. මේ වසරේ මුල් මාස හය තුළ සංචාරක අංශයෙන් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් බිලියන 1.51ක් වන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 11.8ක අඩුවීමකි. මෙම කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ද සියයට 1.8කින් සුළු වශයෙන් පහත වැටී මිලියන 1.15ක් ලෙස සටහන් වී ඇත. විශේෂයෙන්ම ජූනි මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 151.1ක් වූ අතර, එය මැයි මාසයේ මෙන්ම පසුගිය වසරේ ජූනි මාසයේ වාර්තා වූ ආදායම්වලට වඩා අඩු අගයකි.මේ අතර, 2026 ජූනි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 6.45ක් ලෙස තාවකාලිකව තක්සේරු කර ඇති අතර, මෙයට චීන මහජන බැංකුව සමඟ පවතින මුදල් හුවමාරු ගිවිසුමේ ප්‍රතිපාදන ද ඇතුළත් වේ. මීට අමතරව, වසර ආරම්භයේ සිට ජූලි 10 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.9කින් අවප්‍රමාණය වී ඇති බවද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.























