ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාවට ඒකමතිකව විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර, නීති ප්‍රජාව මෙම පියවරට දැඩි ලෙස විරුද්ධ බව එහි සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කර තිබේ. අද (29) පෙරවරුවේ නීතිඥ සංගම් පරිශ්‍රයේදී පැවති විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රැස්වීමට භෞතිකව සහ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සහභාගී වූ සියලුම නීතිඥවරුන් මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ බවයි. මෙම යෝජනාව විනිසුරුවරුන්ගේ විරෝධයටද ලක්ව ඇති බවත්, එය අධිකරණ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවට ඔහු අනතුරු ඇඟවීය. රජයේ මෙම තීරණය නුවණට හුරු නොවන පියවරක් ලෙස හැඳින්වූ අමරසූරිය මහතා, යෝජනාවට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්, නීතිඥ සංගමය මීට මාස දෙකකට පමණ ආසන්න කාලයක සිට විරෝධතා මතු කළද රජයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දී නොමැති බවත් පැවසීය. කෙසේ වෙතත්, මතු වූ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අද පස්වරු 5:00 ට අධිකරණ අමාත්‍යවරයා හමුවීමට නියමිත බවද, විරෝධතා මැද රජය ඉදිරියට යන්නේ නම් එම කාරණය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. කොළඹ පිහිටි නීතිඥ සංගම් මූලස්ථානයේදී පැවති මෙම විශේෂ මහා සභා රැස්වීම සඳහා ලාල් විජේනායක, උදය ගම්මන්පිල, උපුල් ජයසූරිය, එම්.ඒ. සුමන්තිරන් සහ ජනාධිපති නීතිඥ අලි සහ්රි ඇතුළු ප්‍රමුඛ පෙළේ නීතිඥයින් රැසක්ද සහභාගී වී තිබිණි.

























