ශ්‍රී ලංකා පොලිසියට අදට වසර 160ක් සපිරේ

ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ අරමුණින් දිවා රාත්‍රී ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොලිසිය අදට (03) වසර 160ක අභිමානවත් ඉතිහාසයක් සපුරයි. මෙරට ව්‍යවස්ථාපිත පොලිස් සේවයේ ආරම්භය බ්‍රිතාන්‍ය පාලන සමය දක්වා දිව ගියද, ඓතිහාසික මහාවංශයට අනුව පණ්ඩුකාභය රාජ්‍ය සමයෙහි සහ දෙවන උදය රජුගේ කාලයේ පවා මෙරට තුළ ක්‍රමවත් ග්‍රාමීය පරිපාලන සහ නගර ආරක්ෂක සංකල්ප පැවති බව ඉතිහාසය සාක්ෂි දරයි. පසුව, ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත්ගේ ඉල්ලීම මත ඉන්දියාවෙන් පැමිණි කැම්බල් මහතාගේ මූලිකත්වයෙන් මෙරට විධිමත් පොලිස් සේවයක් ලෙස එය හැඩගැසුණි.​වර්තමානය වන විට ප්‍රාදේශීය පොලිස් ස්ථාන 609කින් සහ නිලධාරීන් 79,000කට වැඩි පිරිසකින් සමන්විත ශ්‍රී ලංකා පොලිසිය, දැඩි විනයකට හා විධිමත් පරිපාලන ක්‍රමවේදයකට යටත්ව රටේ නීතිය හා සාමය සුරැකීමට දායක වේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මඟපෙන්වීම යටතේ නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ව්‍යුහයන් සංශෝධනය කිරීම, සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීම මෙන්ම දූෂිත නිලධාරීන් ඉවත් කරමින් ආයතනික විනය රැක ගැනීමට මෑතකදී විශේෂ පියවර රැසක් ගෙන තිබේ.​මෙම 160 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරීම සඳහා ප්‍රධාන උත්සවය අද (03) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වේ. ඊට සමගාමීව, සැප්තැම්බර් 04, 05 සහ 06 යන දිනවල මහජනතාවට නැරඹිය හැකි විශේෂ ප්‍රදර්ශන කුටි සහ විවිධ සංස්කෘතික වැඩසටහන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා ක්‍රීඩාංගනයේදී ක්‍රියාත්මක කිරීමටද පොලිසිය සියලු කටයුතු සූදානම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,313

Leave A Reply

Your email address will not be published. Required fields are marked *