සිරගත කෙරෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් දැනට පවතින බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කර ඉදිරි සති දෙක ඇතුළත සම්මත කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම මුල් කරගනිමින් මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ. 1877 බන්ධනාගාර ආඥා පනත තුළ භික්ෂූන් වහන්සේලා උදෙසා විශේෂ රෙගුලාසි නොමැති බැවින්, පවතින නීති රාමුව අභිභවා තනි තනි පුද්ගලයන්ට නියෝග දෙනවා වෙනුවට නීතිය වර්තමානයට ගැලපෙන සේ සංශෝධනය කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.සාකච්ඡාවේදී මහා සංඝරත්නය යෝජනා කළේ යම් භික්ෂූන් වහන්සේ නමකට වසර 03කට වැඩි සිරදඬුවමක් නියම වන අවස්ථාවලදී අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ අදහස් විමසා, එම නිර්දේශ මත චීවරය සහිතව උන්වහන්සේලාව විවෘතව බැහැරට රැගෙන යාමට හැකි වන පරිදි නීති සකස් කරන ලෙසයි. එම යෝජනාව පිළිගත් ජනාධිපතිවරයා, විනිවිදභාවයෙන් යුතුව අදාළ නීතිමය සංශෝධන කඩිනමින් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇත. ශාසනික වශයෙන් වැදගත් මෙම ගැටලුවට රජය ලබා දුන් ක්ෂණික විසඳුම මහා සංඝරත්නයේ ප්‍රශංසාවට ද ලක් විය.මේ සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් පස්දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව සති දෙකක් ඇතුළත සංශෝධන යෝජනා සකස් කිරීමට නියමිතය. අදාළ යෝජනා එළඹෙන සතියේ මැද වන විට මහා සංඝරත්නයේ අදහස් සඳහා ඉදිරිපත් කෙරෙන අතර, නව රෙගුලාසි සම්මත වීමෙන් පසුව අදාළ නිකායේ නිර්දේශ මත භික්ෂූන් වහන්සේලා චීවරය සහිතව බැහැරට ගෙන යාමේ හැකියාව හිමිවනු ඇත.

























