වත්මන් නිදහස් අධ්‍යාපන පද්ධතිය තුළ පවතින විෂමතා තුරන් කර, නගරයේ සහ ගමේ පාසල් අතර සමානාත්මතාවය ඇති කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය. ගෝලීය රැකියා වෙළඳපොළ ජය ගැනීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ප්‍රාථමික අවධියේ සිටම දරුවන්ට ලබා දීමේ වැදගත්කම ඔහු එහිදී පෙන්වා දුන්නේය.දැනට පාසල් පද්ධතිය තුළ තොරතුරු තාක්ෂණය විෂයයක් ලෙස ඉගැන්වීම 6 වන ශ්‍රේණියෙන් ආරම්භ වුවද, අනාගත සමගි ජන බලවේග රජයක් යටතේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වන සියලුම සිසුන් සඳහා එය අනිවාර්ය විෂයයක් බවට පත් කරන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. තාක්ෂණික ලෝකය සමඟ ඉදිරියට යාමට නම් මෙම විෂයය මව්භාෂාවලින් පමණක් හැදෑරීම ප්‍රායෝගික නොවන බවත්, එබැවින් 1 වසරේ සිටම එය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය යුතු බවත් හෙතෙම සිය යෝජනාව මඟින් පෙන්වා දී තිබේ.දිවයින පුරා ක්‍රියාත්මක වන “සක්වල සුහුරු පන්ති කාමර” වැඩසටහන හරහා තමන් ලැබූ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙම නිගමනයට පැමිණි බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. එමෙන්ම රට ඩිජිටල්කරණය කිරීමට මත්තෙන් අධ්‍යාපනයේ මූලික හර පද්ධතීන් වෙනස් කළ යුතු බවත්, ඒ වෙනුවෙන් STEAM අධ්‍යාපන ක්‍රමවේදය රට පුරා ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.



























