මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සැමරීමේ “17 වන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙවර උත්සවයේ විශේෂත්වයක් ලෙස, රටේ නිදහස වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත්වලින් ත්‍රිවිධ හමුදාවට බැඳී දිවිපිදූ ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන් 30 දෙනෙකු ප්‍රථම වතාවට රාජ්‍ය මට්ටමින් සක්‍රීයව දායක කරගැනීමට පියවර ගෙන ඇති බව රණවිරු සේවා අධිකාරිය පවසයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය (STF), සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින් රණවිරු දෙමව්පියන් 160 දෙනෙකු ඇතුළුව සමස්තයක් ලෙස 2,769 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම ගෞරවනීය අවස්ථාවට එක්වීමට නියමිතය.වසර 30ක දරුණු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් අහිංසක දෙමළ වැසියන් 2,95,000ක් මුදාගනිමින් ලොව විශාලතම මානුෂීය මෙහෙයුම දියත් කළ වීරෝදාර රණවිරුවන් උදෙසා සමස්ත ජාතියේම සදාකාලික උපහාරය හිමිවිය යුතු බව මෙහිදී අවධාරණය කෙරේ. මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් මෙරට වීරයන් 29,000ක් තම ජීවිත පරිත්‍යාග කර ඇති අතර, තවත් 14,000ක් සදාකාලිකවම ආබාධිත තත්ත්වයට පත්ව සිටිති. රට වෙනුවෙන් කළ ඒ අසිරිමත් මෙහෙවර අගයමින්, සාම්ප්‍රදායික රාජ්‍ය ගෞරවාචාර මධ්‍යයේ හෙට දිනයේදී මෙම විජයග්‍රාහී සැමරුම උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී බලධාරීන් කරුණු තහවුරු කළේය.

























