2021 වසරේ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු සඳහා අයදුම් කර මූලික පරීක්ෂණ සහ ලිඛිත විභාගවලින් සමත් වූ අපේක්ෂිකාවන්ට පත්වීම් ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. එදා සිදු වූ තෝරාගැනීම්වලින් පසු වෛද්‍ය පරීක්ෂණ ඇතුළු අවසන් අදියර කල් දැමීම හේතුවෙන් එම පිරිස වසර පහකට ආසන්න කාලයක් පත්වීම් අපේක්ෂාවෙන් පසුවන බව ඒ මහතා පෙන්වා දෙයි.මෙම තත්ත්වය හමුවේ රජය විසින් පැරණි ගැසට් නිවේදනය අවලංගු කර, නව සුදුසුකම් සහ වයස් සීමා සහිතව 2026 වසරේදී නැවත බඳවාගැනීම් සිදු කිරීමට සූදානම් වීම බරපතළ අසාධාරණයක් බව විපක්ෂ නායකවරයා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේදී අසාධාරණයට ලක්වූ එම පිරිස හමුවූ අවස්ථාවේදී ඔහු අවධාරණය කළේ, වසර ගණනාවක් බලා සිටි මෙම අපේක්ෂිකාවන්ට රජය මෙතෙක් කිසිදු සාධාරණ පිළිතුරක් ලබා දී නොමැති බවයි.පැරණි ගැසට් නිවේදන යටතේ සුදුසුකම් සපුරා ඇති පිරිස නොසලකා හරිමින් නව බඳවාගැනීම් සඳහා පියවර ගැනීම මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. මින් පෙර සිටම අදාළ බඳවාගැනීම් ක්‍රියාවලිය නිසි ලෙස සම්පූර්ණ නොකිරීම තුළින් මෙම අපේක්ෂිකාවන් දැඩි අසරණභාවයකට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.එබැවින්, වසර ගණනාවක් තිස්සේ සාධාරණ බලාපොරොත්තු ඇතිව සිටින මෙම පිරිස වෙනුවෙන් කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. අසාධාරණයට ලක්වූ මෙම අපේක්ෂිකාවන් වෙනුවෙන් තමා නිරන්තරයෙන් පෙනී සිටින බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඒ මහතා සහතික විය.



























