ලංගම දෛනික පාඩුව කෝටි දෙකක් දක්වා ඉහළට

ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) මේ වන විට දිනකට රුපියල් කෝටි දෙකක මූල්‍ය පාඩුවක් ලබන බව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී පෙන්වා දුන්නේ, මසකට ලංගමයට අහිමි වන මුළු මුදල රුපියල් කෝටි 60ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.​මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන හේතු ලෙස විධිමත් කළමනාකරණ පද්ධතියක් නොමැති වීම, කාර්ය මණ්ඩල අක්‍රමිකතා සහ දුර්වල බඳවා ගැනීමේ ක්‍රියාවලීන් හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම රාත්‍රී සහ අලුයම කාලයේ ධාවනය වන බස් රථවලදී මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමෙන් මණ්ඩලයට ලැබිය යුතු විශාල ආදායමක් මඟ හැරී යන බව නිලධාරීන් තහවුරු කළහ.​පාඩු අවම කරමින් සේවාව කාර්යක්ෂම කිරීම සඳහා නුදුරේදීම නවීන තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව, නොවැම්බර් මාසය වන විට බස් ගාස්තු සඳහා කාඩ්පත් ක්‍රමයක් සහ සැප්තැම්බර් සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ නිරීක්ෂණයට ජීපීඑස් (GPS) තාක්ෂණය ස්ථාපිත කෙරේ. තවද, කාර්යාල රාජකාරිවල නිරත රියදුරු සහ කොන්දොස්තරවරුන් නැවත සේවයට කැඳවීමත්, අගෝස්තු සහ නොවැම්බර් මාස තුළ නව බස් රථ ධාවනයට එක් කිරීමත් හරහා ආයතනය නඟාසිටුවීමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,196

Leave A Reply

Your email address will not be published. Required fields are marked *