ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලියේ දෙවනවර කියවීමේ විවාදය අද (13) සිට ආරම්භ වේ. අද සිට නොවැම්බර් 20 වැනිදා දක්වා දින 7ක කාලයක් මෙම විවාදය පැවැත්වෙන අතර, නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පුරා පැවැත්වේ. අනතුරුව අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනු ඇත.අයවැය විවාදය පැවැත්වෙන දිනවලදී පෙරවරු 9.30 සිට 11.00 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ වන පාර්ලිමේන්තු කටයුතු සහ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වෙන අතර, ඡන්ද විමසීම් පැවැත්වෙන දින දෙක හැර අනෙක් සෑම දිනකම පස්වරු 6.00 සිට 6.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමට නියමිතය.



























