ලබන 2027 වසර සඳහා වන රජයේ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් වාර්ෂික අයවැය ලේඛනය එළඹෙන නොවැම්බර් මස 12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ සඳහා වන කාලසටහනට අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වාත්, කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 14 වනදා දක්වාත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.මෙම ක්‍රියාවලියේ මූලික පියවරක් ලෙස එක් එක් අමාත්‍යාංශවල වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත සැප්තැම්බර් 14 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය. ඉන් අනතුරුව එය සැප්තැම්බර් 18 වන දින ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඔක්තෝබර් මස 07 වන දින පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.රටේ ඉදිරි ආර්ථික අරමුණු සහ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සකස් කෙරෙන මෙම අයවැය ලේඛනය, රජයේ මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ද අතිශය තීරණාත්මක වනු ඇත. මුදල් අමාත්‍යාංශය අවධාරණය කරන්නේ නියමිත දින වකවානු රකිමින් මෙම අයවැය ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීමට පියවර ගන්නා බවයි.























